ජාතික තරුණ සේවා සභාව සිදුකරන One Million Volunteers වැඩසටහන බිඳුණු වැව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.
ඒ අනුව One Million Volunteers වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේදී සිදු කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීම සිදු කර, ඔවුන්ව වැඩ බිම් සඳහා බෙදාහැරීම සිදු කෙරුණි. ඒ අනුව අද (27දා) සහ හෙට (28දා) ස්වේච්ඡා තරුණ තරුණියන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිතය.
මෙම දින දෙක තුළ දී ආපදාවට ලක්ව ඇති පාසල් අලුත්වැඩියා කිරීම, වාරි පද්ධති හා මාර්ග පිරිසිදු කිරීම, සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවට රසවින්දන වැඩසටහන් සිදු කිරීම, රෝහල් සඳහා ඖෂධ ලබාදීම, සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවට හා දරුවන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදු කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ තරුණ සේවා සභාවේ සභාපති / ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ, හලාවත ප්‍රදේශයේ ශ්‍රම මෙහෙයුමක් සිදු කරමින් පසුගියදා ආරම්භ කළ One Million Volunteers වැඩසටහනේ දෙවන වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ දී දින දෙකක් පුරා සිදු කෙරෙන බවයි.
ආපදාවට පත් වූවන් වෙනුවෙන් සහ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් තරුණයන් ලෙස කළ හැකි උපරිම මැදිහත් වීම සිදු කිරීමට අවස්ථාව උදා වී ඇති බව ද සභාපතිවරයා කීවේය.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ ආර්ථික වශයෙන් රට සෙමෙන් නමුත් ස්ථාවර වෙමින් පැවති අවස්ථාවක දී මුහුණ දුන් ආපදා තත්ත්වය හේතුවෙන් රට නැවත කඩා වැටීමට ඉඩ තැබිය නොහැකි බවයි. රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වූ තාරුණ්‍යය මැදිහත්වීම සිදුකිරීමට පැමිණි සියලුම තරුණ තරුණියන්ට ස්තුතිවන්ත වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සම්බන්ධ වූ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ, ස්වේච්ඡා ශ්‍රම දායකත්වයවය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් පෙබරවාරි පස් වැනිදා නැවත ආරම්භ කිරීමට හැකිව ඇති බවයි. ස්වේච්ඡා සේවය යනු මෙරට ගොඩනැගීමට විශාල දායකත්වයක් බව මෙම ආපදා තත්ත්වය තුළින් මනාව පැහැදිලි වූ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම One Million Volunteers වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින අතර, ඒ අනුව volunteer.nysc.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකිය.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරතුමා, ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් , ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.