ඉරාන හමුදා වෙඩි ප්‍රහරවලින් 2000කට වඩා මියගිහින්.
තුවාලකරුවන්ගෙන් හා මළසිරුරුවලින් ඉරාන රෝහල් පිරේ.
ඇතැම් මළසිරුරු කඩිනමින් වළලලා.
ඉරාන රජයේ හමුදාවන් විසින් එරට සති තුනක කාලයක් මුළුල්ලේ පැවැත්වෙන සාමකාමී මහජන උද්ඝෝෂණයන් හමුදා බලය යොදාගෙන දරුණු ලෙස මැඩපවත්වමින් සිටීම හේතුවෙන් මේ වන විට විරෝධතාකරුවන් 2000 කට වඩා මියගොස් ඇති බව ඉරාන මානවහිමිකම් සංවිධානයක් විසින් පවසා ඇති බව බීබීසී ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ. නෝර්වේ රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ඉරාන මානවහිමිකම් සංවිධානය විසින් මේ බව පවසා ඇති අතර එම සංවිධානයට අනුව මෙසේ වෙඩි තබා මරාදමා ඇති උද්ඝෝෂකයන් අතර වයස අවුරුදු 18 ට අඩු පිරිස් ද සිටින කෙසේ වුවද ඉරාන රජය විසින් රට පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබීම හේතුවෙන් මියගොස් ඇති විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව එම පුවත් සේවය විසින් සඳහන් කර තිබේ. පවතින අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබීම හේතුවෙන් ඉරානයේ පවතින සැබෑ තත්ත්වය බාහිර ලෝකයාට දැනගැනීම අසීරු වී ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට නිදහසේ ක්‍රියාත්මක වීමට නොහැකි වී තිබීම හේතුවෙන් එරට සිදුවන සිදුවීම් පිටතට වාර්තා කිරීමට නොහැකි වී තිබේ.
මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඊයේ (13දා) වාර්තා කර තිබූ අන්දමට ඉකුත් සිකුරාදා (09) දිනයේ ඉරාන විප්ලවීය හමුදා භටයන් විසින් යතුරුපැදිවලින් පැමිණ රට පුරා වීථි බැස රජයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටි විරෝධතාකරුවන් ඉදිරියට ගොස් ඔවුන්ගේ හිස්වලට සිය අතැති ගිනි අවිවලින් වෙඩි තබා තිබේ. මේ හේතුවෙන් රෝහල් මෙන්ම ගුදම් වැනි ස්ථානවල මියගොස් ඇති විරෝධතාකරුවන්ගේ මළසිරුරු එක මත එක තබන ආකාරයෙන් ගොඩ ගසා ඇති බවත් ඇතැම් ප්‍රදේශවල මළසිරුරු කළු පැහැති බෑග්වල බහා ගොඩ ගසා ඇති බවද ඇසින් දුටුවන් විසින් විදෙස් මාධ්‍යවලට පවසා තිබේ. ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු බොහෝ නගරවල රෝහල් වෙඩි වැදී මියගිය හා හිසට හා ඇස්වලට වෙඩි වැදීමෙන් දරුණු ලෙස තුවාල සිදුව ඇති තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවද වාර්තා වී ඇති අතර රෝහල් බලධාරීන්ට අනුව දරුණු වෙඩි වැදීම් සිදුව ඇති තුවාලකරුවනට ප්‍රතිකාර ලබාදීම පවා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අභියෝගයක් වී තිබේ. බීබීසී ප්‍රවෘත්ති සේවයට අනුව ඉරානයේ මෂාඩ් ප්‍රදේශයේ සුසාන භූමි වෙත ඉකුත් සිකුරාදා උදෑසන කාලයේ කඩිනමින් භූමදානය කිරීම සඳහා වෙඩි තබා මරා දැමූ විරෝධතාකරුවන් 180ත් 200ත් අතර පිරිසකගේ මළසිරුරු යොමු කර තිබී ඇති අතර රාෂ්ට් නගරයේ රෝහල් මෝචරි වෙත තවත් මියගිය අයගේ සිරුරු 70 ක් යොමු කර තිබේ. මේ අතර ඉරාන රජයේ මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ ඉරාන විරෝධතාකරුවන් විසින් එරට ආරක්ෂක හමුදා භටයන් 100ක් පමණ දෙනා පසුගිය දිනවලදී මරා දමා ඇති බවකි. ඉරානයේ විරෝධතාවයේ යෙදෙනේනන් ‘කැරලිකරුවන්’ ලෙස ද එම මාධ්‍ය විසින් හඳුන්වා දී තිබේ. එම මාධ්‍ය ආයතනවලට අනුව විරෝධතාකරුවන් විසින් ඉකුත් සිකුරාදා දිනයේදී ටෙහෙරාන් ඇතුළු ඉරානයේ නගර ගණනාවක පිහිටි ඉස්ලාමීය පල්ලි හා බැංකු රැසක් ගිනි තබා විනාශ කර තිබේ. සති තුනකට පමණ පෙර ඉරානයේ රියාල් මුදල් ඒකකය බිඳ වැටීමත් සමගම රට තුළ හටගෙන ඇති උද්ධමනයට එරෙහිව වීථි බැස විරෝධතාවයේ යෙදුණු මහජනතාව සාමකාමී අයුරින් එම විරෝධතාවල නිරත වූ අතර ඉකුත් සිකුරාදා දිනයේ සිට එම විරෝධතා දරුණු වී ටෙහෙරාන් නගරයේ පිහිටි ඉස්ලාමීය පල්ලි හා බැංකු ගිනි තැබීම දක්වා වර්ධනය වී තිබූ බව වාර්තා වී තිබිණි.
මුලදී රටේ උද්ධමනයට එරෙහිව විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවෝ පසුව එරට පවතින ඉස්ලාමීය විපල්විය හමුදා රජයට හා උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි හට ඉල්ලා අස් වී දැනට රටින් පිට වාසය කරන ඉරානයේ ‘පහ්ලවී’ පෙළපතට අයත් අවසන් රජු සේ සැලකෙන මොහොමඩ් රේසා ෂා පහ්ලවීගේ පුත් රේසා පහ්ලවීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී රජයකට බලය පවරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා විය. අනතුරුව එම උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා හමුදා බලය යෙදවීමට ඉරානයේ උත්තරීතර නායක කමේනි විසින් නියෝග කර තිබූ බව වාර්තා වේ. මේ අතර ඉරාන වැසියනට අනුව මෙවර ඉරාන රජයට එරෙහිව පැවති උද්ඝෝෂණයන් සඳහා ජනතාවගේ දැඩි උද්යෝගයක් තිබී ඇති අතර ටෙහෙරාන් අගනුවර එවැනි උද්ඝෝෂණවලට සහය නොදක්වන පිරිස් පවා මෙවර ඒ සඳහා දායකත්වය ලබා දී තිබී ඇත. ඉරාන ඉස්ලාමීය හමුදා භටයන් විසින් දරුණු ලෙස උද්ඝෝෂණය මැඩපැවැත්වීමට පියවර ගනිමින් සිටීම හේතුවෙන් බොහෝ පිරිස් සිය නිවෙස්වලට වී සාමකාමී විරෝධතාවයක යෙදී සිටින බවද විදෙස් මාධ්‍ය විසින් ඉරාන වැසියන් උපුටා දක්වමින් ඊයේ වාර්තා කර තිබිණි. දැනට රටින් පිටුවහල්ව ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ඉරාන රජ පෙළපතෙහි ඔටුන්න හිමි කුමාරයා වශයෙන් සැලකෙන රේසා පහ්ලවී හට දැඩි මහජන සහයෝගයක් පවතින බව ජනමත විමසුම්වලින් හෙළි වී තිබේ. 1979 වසරේදී බලයෙන් නෙරපූ ඔහුගේ පියා වන පහ්ලවී රජ පෙළපතෙහි අවසන් රජු වූ මොහොමඩ් රේසා ෂා පහ්ලවී බලයෙන් නෙරපීමෙන් පසු රටවල් කිහිපයකට සිය පවුලේ සාමාජිකයන් සමග සංක්‍රමණය වී තිබූ අතර අවසානයේ ඊජිප්තුවේ රැකවරණය ලබමින් සිටියදී ඔහු 1980 වසරේ ජුලි 27 වැනිදා මියගොස් තිබිණි.
ඉරානයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ ඊයේ දිනයේ විශේෂ ප්‍රකාශයක් කර තිබූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වන රටවල්වලට එරෙහිව සියයට 25ක වෙළඳ බද්දක් පනවන බවට අනතුරු අඟවා තිබිණි. මේ අතර ඉරාන බලධාරීන් පවසා ඇත්තේ දැනට එරට පවතින මහජන උද්ඝෝෂණවලට සහය දක්වමින් ඇමරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දුනහොත් කළහොත් එයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. මේ අතර සාමකාමීව පැවති ඉරානයේ මහජන උද්ඝෝෂණය හමුදා බලය යොදාගෙන මැඩපැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය විරෝධය පළ කර තිබේ.