Loading...
අයහපත් කාලගුණයෙන් රජරට ප්‍රධාන ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි.
Local අයහපත් කාලගුණයෙන් රජරට ප්‍රධාන ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි.
  • Admin
  • Jan 09, 2026 | 13:19

රජරට ප්‍රදේශයට දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇද හැලෙන නොකඩවා වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග රැසක් වාන් මට්ටමට පැමිණ ඇති අතර, ප්‍රධාන ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග බලධාරීන් අද (09) පියවර ගෙන තිබේ.


ඉහළ ජල පෝෂක ප්‍රදේශවලින් ජලාශ වෙත විශාල ජල කඳක් ගලා එමින් පැවතීම නිසා මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.


ඒ අනුව කලාවැව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද උදෑසන 6.00 වන විට එහි වාන් දොරටු දෙකක් අඩි එක බැගින් විවෘත කෙරිණි.


මේ හරහා කලා ඔයට තත්පරයට ගණ අඩි 1,027 ක ජල ධාරිතාවක් මුදා හැරේ. ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිට තවමත් කලාවැවට ජලය ලැබෙමින් පවතින බව කලාවැව සහ බෝවතැන්න ජලාශ භාර කාර්යභාර ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා පැවසීය.


අධික ජල පීඩනය හේතුවෙන් රජංගනය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර ඇත. ඉන් දොරටු 4 ක් අඩි 04 බැගින්ද, දොරටු 2 ක් අඩි 02 බැගින්ද විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ගණ අඩි 5,176 ක ජල ප්‍රමාණයක් කලා ඔයට එක්වේ. මීට අමතරව අංගමුව ජලාශයේ ද වාන් දොරටු 2 ක් අඩි 02 බැගින් විවෘත කර තත්පරයට ගණ අඩි 1,216 ක ජලයක් මුදා හරිමින් පවතී.


හුරුළුවැව ජලාශය මේ වන විට සිය උපරිම ජල ධාරිතාව ඉක්මවා යමින් පවතී. අක්කර අඩි 55,000 ක උපරිම ධාරිතාවක් සහිත හුරුළුවැව අද උදෑසන වන විට අක්කර අඩි 55,500 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එසේම මානන්කට්ටිය ජලාශයේ වාන් දොරටු 4 ක් ද අඟල් 03 බැගින් විවෘත කර ඇත.


පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඕනෑම අවස්ථාවක ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බැවින්, කලා ඔය දෙපස සහ පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, අනවශ්‍ය ලෙස ජලාශ හා ඔයවල් පරිශීලනයෙන් වැළකිය යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.