අපේ රටේ පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පියාගේ දෑත්වල දක්ෂතාවයට සහ නිර්මාණශීලීත්වයට නිසි වටිනාකමක් ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) 14 වැනි අලෙවි ශාඛාව ඊයේ දින මීගමුව සංචාරක පුරවරයේදී විවෘත විය.
මීගමුව වැනි ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක මෙවැනි ප්‍රදර්ශනාගාරයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වන්නේ, අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව අපේ ග්‍රාමීය ශිල්පියාට සෘජුවම ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දීමයි. අපේ ප්‍රතිපත්තිය වන්නේ හුදෙක් භාණ්ඩ අලෙවි කිරීම පමණක් නොව, දේශීය අනන්‍යතාවය ලොවට විදහා දක්වන "සන්නාම තානාපතිවරයෙකු" ලෙස ලක්සල ශක්තිමත් කිරීමයි.
බතික්, ලී කැටයම්, මැටි, පිත්තල මෙන්ම දේශීය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන දහස් ගණනක් වූ ශිල්පීන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරමින්, නූතන මෝස්තර සහ තාක්ෂණය මුසු කළ උසස් නිෂ්පාදන දැන් මීගමුව නව ශාඛාවෙන් ලබාගත හැකියි.
මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල මහත්මිය, හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිනි සුජීවා සේනානායක මහත්මිය සහ ලංකා මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.