Loading...
ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්.
Political ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්.
  • Admin
  • Feb 12, 2026 | 10:50

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති පින්නරායි විජයන් (Pinarayi Vijayan) සහෝදරයා සහ තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේදී ඊයේ (11) සිදුවිය.


එසේම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ප්‍රධාන ලේකම් එම්.ඒ බේබි (M.A Baby) සහෝදරයා හා මධ්‍යම කාරක සභාවේ සහෝදරවරු කිහිප දෙනෙක්ද මුණගැසී සාකච්ඡාවක් පවත්වන ලදි.


ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්, ප්‍රාන්තයක් ලෙස කේරලයේ සිදුකර ඇති වැඩසටහන් සම්බන්ධයෙන්ද, සාක්ෂරතාව 100%ක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද, ආන්තික දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.


ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවය වර්ධනය කරගැනීම හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සංවර්ධනය ළඟා කරගත හැකි අවකාශ සම්බන්ධයෙන්ද පක්ෂ දෙක අතර සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළහ.


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, කරුණාතිලන් ඉලන්කුමරන්, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී සහ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ යන සහෝදර සහෝදරියන් සහභාගි වූහ.