2026 වසරේ පෙබරවාරි 28 වන දිනට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර තිබේ.අමාත්‍යවරයා ඊයේ (19) මෙම අදහස් පළ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.දැනට පවතින ත්‍රස්තවාදී පනත අහෝසි කර මානව හිමිකම් සහ භාෂණයේ නිදහස ආරක්ෂා වන නව පනතක් ගෙන බවට වත්මන් රජය බලයට පත්වීමට පෙර අප විසින් පොරොන්දුවක් දෙනු ලැබුවා. ඒ අනුව පැරණි නීතිය ඉවත් කර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නව නීතියක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් විද්වතුන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා. එම කමිටුව මාස එකොළහක කාලයක් තුළ සකස් කරන ලද පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර මා වෙත ලබා දුන්නා. එය මේ වන විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඉතාමත් සියුම් සහ සංවේදී අපේ රටට විශාල වැදගත්කමක් ඇති පනතක් නිසා සෘජුවම අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මහජනතාවගේ අදහස් වීමසමින් ජනතාව දැනුවත් කළ යුතු බව අප විශ්වාස කරනවා. ඒ අනුව මේ වන විටත් කෙටුම්පත වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. 2026 වසරේ පෙබරවාරි 28 වන දින දක්වා ජනතාවට ඒ සඳහා අදහස් ලබා දිය හැකියි. පනත් කෙටුම්පතට නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව එම කාලය තුළ පවතිනවා. මේ සම්බන්ධයෙන් අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙස උනන්දුවක් දක්වන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීයව බලා කටයුතු කිරීමට සුදානම්. මේ වන විට සාමාන්‍ය ජනතාව සහ සිවිල් සංවිධාන අදහස් හා යෝජනා යොමු කර තිබෙනවා. ඒ නිසා මේ කෙටුම්පත් කර තිබෙන්නේ අවසාන කෙටුම්පත නොවෙයි. නව අදහස් හා යෝජනා එම කමිටුව මගින්ම නැවත සලකා බලා සාධනීයව කටයුතු කරනවා. අවසන් කෙටුම්පත සකස් කිරීම වෙනුවෙන් සාධනීය අදහස් හා යෝජනා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පනත් කෙටුම්පතෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි පිටපත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moj.gov.lk වෙබ් අඩවියේ පළ කර තිබේ.