Loading...
ඩේවිඩ් පීරිස් උතුරු පළාතේ ප්‍රථම බහු පරිශීලක මධ්‍යස්ථානය විවෘත කරයි.
Local ඩේවිඩ් පීරිස් උතුරු පළාතේ ප්‍රථම බහු පරිශීලක මධ්‍යස්ථානය විවෘත කරයි.
  • Admin
  • Jan 30, 2026 | 10:11

ශ්‍රී ලාංකික ලොජිස්ටිස්ක් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රථම බහු-පාරිභෝගික ලොජිස්ටික්ස් මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. යාපනය ප්‍රදේශයේ ස්ථාපිත මෙම නවීන පහසුකම් සහිත ගබඩා සංකීර්ණය උතුරු පළාතේ ආර්ථික තත්වය සවිබලගැන්වීම වෙනුවෙන් පෞද්ගලික අංශය විසින් සිදු කරන ලද සුවිශේෂී ආයෝජනයක් වේ. නව මධ්‍යස්ථානය විවෘත කිරීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩේවිඩ් පීරිස් මහතා අතින් සිදු කෙරුණු අතර ඒ සඳහා සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානයක මහතා ඇතුළු සමූහයේ සමාගම් අධ්‍යක්ෂවරු සහභාගි වූහ. මෙම මධ්‍යස්ථානය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉතා සමීපව යාපනය, කන්කසන්තුරේ, මයිලිඩ්ඩි දකුණ, කඩ්ඩුවාන්-මයිලිඩ්ඩි පාරේ පිහිටා තිබීම විශේෂත්වයකි. උතුරු පළාතේ වෘත්තීය මට්ටමින් කළමනාකරණය කරනු ලබන පළමු බහු-පාරිභෝගික ගබඩා පහසුකම මෙය වන අතර, කලාපීය ආර්ථික වර්ධනය කෙරෙහි සමාගම තබා ඇති විශ්වාසය මෙමඟින් මැනවින් ඉස්මතු වේ.

Third-Party Logistics මධ්‍යස්ථානයක් ලෙස නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානය වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), සිල්ලර වෙ‍ෙළඳාම, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන වැනි විවිධ කර්මාන්ත රැසකට අවශ්‍ය ගබඩා පහසුකම් මෙන්ම ඇසුරුම්කරණ සහ බෙදාහැරීමේ සේවා සපයයි.

මෙය කන්කසන්තුරේ දුම්රිය ස්ථානය, වරාය සහ පලාලි ගුවන්තොටුපොළ යන ප්‍රධාන ප්‍රවාහන ස්ථානයන්ට ඉතා ආසන්නව පිහිටා තිබීම ඔස්සේ ගොඩබිම, මුහුදු සහ ගුවන් ආදී මාර්ග ත්‍රිත්වයෙන්ම ඉතා කාර්යක්ෂමව භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතියි. සැපයුම්දාම පිරිවැය අවම කරගනිමින් බෙදාහැරීමේ කාලය ඉතිරි කර ගැනීමට මේ ඔස්සේ ව්‍යාපාරිකයන්ට අවස්ථාව සැලසේ. එපමණක් නොව මෙම ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රදේශයේ තරුණ ප්‍රජාව වෙත සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාවන අතර, නවීන ලොජිස්ටික් තාක්ෂණය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමටද මඟ විවර වේ.