කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්:
විකල්ප මාර්ග භාවිත කරන්න – පොලිසිය ඉල්ලයි
ආගමික සංහිඳියාව, සංස්කෘතිය හා ජාතික උරුමයන් එකට බැඳුණු කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහැර හෙට (31දා) සහ අනිද්දා (01දා) වීථි සංචාරය කෙරේ.
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ගංගාරාම දායක සභාවේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම අලංකාරවත් පෙරහැර නර්තන අංග ඇතුළු සංස්කෘතික අංග රැසකින් සමන්විතය. මෙවර පෙරහැර සඳහා ද අලි – ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි කරවීමට නියමිතය.
දේශීය හා විදේශීය නැටුම් කණ්ඩායම්වලින් විචිත්‍රවත් වන මෙම පෙරහැර දේශීය අනන්‍යතාව සහ මෙරට සංස්කෘතිය ලොවටම විදහාපාන මහා සංස්කෘතික මංගල්‍යයකි. ගංගාරාම පෙරහැර සමස්ත ලක් ජනතාවගේ මෙන්ම සංචාරකයන්ගේ ද ආකර්ෂණය දිනාගෙන ඇති අතර අගනගරයේ අභිමානවත් පෙරහැර ලෙස සැලකෙන මෙම පෙරහැර ඇරඹීමට රට පුරා සතර දෙසින් අතිවිශාල පිරිසක් පැමිණෙති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර හේතුවෙන් ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 01 වැනිදා දක්වා කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඒ දිනවල එම ප්‍රදේශය හරහා ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කරයි.
පෙරහැර විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් කර ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර හන්දියෙන් වමට හැරී හුණුපිටිය වැව පාර ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාර, ඩබ්. ඒ. ඩී. රාමනායක මාවත හන්දියෙන් දකුණට හැරී ඩබ්. ඒ. ඩී. රාමනායක මාවත ඔස්සේ ගමන් කර සර් ජේම්ස් පීරිස් මාවත හන්දියෙන් දකුණට හැරී සර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ ගමන් කර සර් ජේම්ස් පීරිස් මාවත අල්ටේරයාර් ඇවනියු හන්දියෙන් දකුණට හැරී ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් හන්දිය ඔස්සේ බේබෲක් පෙදෙස ඔස්සේ ගමන් කර බේබෲක් වට රවුමෙන් දකුණට හැරී ජිනරතන මාවත ඔස්සේ විහාරස්ථානය ඉදිරිපිටින් විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතය.
ඒ අනුව ඩබ්. ඒ. ඩී. රාමනායක මාවත, හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත, පාර්ක් වීදිය හන්දිය, කොල්වින් ආර් ද සිල්වා මාවත (යුනියන් පෙදෙස) හයිඩ්පාර්ක් කෝනර් හන්දිය පෙරහැර ගමනාගමනය සීමා කරන මාර්ගයන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.