Loading...
කොටස් වෙළෙඳපොළ ආයෝජනය සම්බන්ධ කර ගත් බරපතළ මූල්‍ය වංචා දෙකක්
Local කොටස් වෙළෙඳපොළ ආයෝජනය සම්බන්ධ කර ගත් බරපතළ මූල්‍ය වංචා දෙකක්
  • Admin
  • Dec 18, 2025 | 11:25

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හෙළි කරයි.


කොටස් වෙළෙඳපොළ ආයෝජනය සම්බන්ධ කරගෙන දැනටමත් ක්‍රියාත්මක වන බරපතළ මූල්‍ය වංචා දෙකක් පිළිබඳව අනාවරණය කරගෙන ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය දිසා බණ්ඩාර මහතා ඊයේ (17) පැවසීය.

මේ වංචා පිළිබඳව සුරැකුම්පත් කොමිසම සොයාගෙන ඇති තොරතුරු මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

මේ වංචාවලට සම්බන්ධ බැංකු ගිණුම් මෙන්ම දුරකථන අංකද භාවිත වන බවට නිරීක්ෂණය කර ඇති බවත් ඒ ගැන ද අදාළ අංශවලට දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙසේ අනාවරණය කරගෙන ඇත්තේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය සම්බන්ධ කරගෙන දැනට ක්‍රියාත්මක මූල්‍ය වංචා දෙකක් පමණක් බවත් එහෙත් කොටස් වෙළෙඳපොළ ආයෝජන ක්ෂේත්‍රය මෙවැනි වංචා බහුල ස්ථානයක් නොවන බවත් මේ ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා කීවේය.

මේ නිසා කොටස් වෙළෙඳපොළ ආයෝජනය සම්බන්ධයෙන් උනන්දු වන මහජනතාව මෙවැනි වංචා නිසා තම මුදල්වල සුරක්ෂිතභාවය ගැන ඉතාමත්ම අවධියෙන් කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය. මේවාට හසු නොවීම සඳහා මේ ගැන මහජනතාවට දැනුම් දුන් බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර මහ බැංකුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනු ඇති බව අපේක්ෂා කරන බවද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් කීවේය.