ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු යැයි කියන සඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුට ඉන් පලායෑමට සැලසුම් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා ලබන මාර්තු 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඊයේ (17දා) නියෝග කළේය.
මේ වන විට බූස්සේ අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින පළමු විත්තිකාර සඳුන් චින්තක වික්‍රමරත්න හා හතර වන විත්තිකාර රුවන් චාමර නමැත්තා සූම් තාක්ෂණය ඔස්සේ නිරීක්‍ෂණය කළ විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ සෙසු විත්තිකරුවන් තිදෙනා ද එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
නීතිපතිවරයා විසින් එකී විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය එදින ආරම්භ කිරීමට ද දින නියම කළ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ නවවන සාක්‍ෂිකරුට නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළේය. පළමු විත්තිකාර හරක් කටා නමැත්තා ආරක්‍ෂක හේතූන් මත විවෘත අධිකරණය හමුවට නඩු විභාගය සඳහා ඉදිරිපත් නොකරන්නේ නම් ඔහු එදිනට සූම් තාක්ෂණය ඔස්සේ එදින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ජාලිය සමරසිංහ, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.