Loading...
සිංහල කෙටි නාට්‍ය පහක් BMICH කමත පරිශ්‍රයේදී අද
Local සිංහල කෙටි නාට්‍ය පහක් BMICH කමත පරිශ්‍රයේදී අද
  • Admin
  • Dec 17, 2025 | 15:55

යොවුන් නාට්‍යකරුවන්ගේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන ජාතික යෞවන නාට්‍ය උළෙලේ පස්වන දිනයවන අද (18) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කමත වේදිකාවේ දී සිංහල කෙටි නාට්‍ය පහක් වේදිකාගතවීමට නියමිතව ඇත.

ඒ අනුව අවසාන වටයට තේරුණු කෙටි නාට්‍ය 17 අතරින් අද (18 දින) වේදිකාගත වෙන්නේ එච්.පි.නිලංක නිසලාංජල් ධර්මදාසගේ ” water Snake Stekato”, චතුර නිල්නයන ඒකනායකගේ “සිලිනක් ප්‍රේමය” ජේ.ඒ නිසංසලා ජයසූරියගේ “රතු කලු වර” තීක්ෂ්ණ විමුක්තිගේ “පුරාවත අවසරයි” සහ ඩබ්.එම් .ආර් .ඩී.එස්.නයනප්‍රියගේ හා බණ්ඩාර විජේරත්නගේ ” Rabbit on the Bed” යන කෙටි නාට්‍ය පහයි යි.

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව වසරක් පාසා සංවිධානය කරන ජාතික යෞවන නාට්‍ය උළෙල 44 වන වරටත් පසුගිය 14 වනදා හවස 6.00 ට සම්භාව්‍ය නාට්‍යවේදීන් හා තරුණ නාට්‍යකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කමත වේදිකාවෙි දී ආරම්භ වූ අතර 19,20,21දිනවල ජාතික යෞවන ක්‍රිඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එම වැඩසටහන අවසන් වු පසු නැවත , 22, 23, 24, 25 සහ 26 යන දිනවලද තරුණ නාට්‍යවේදීන්ගේ නිර්මාණ අවසන් වටයේ නියෝජනය කරමින් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ රංග ගත වීමට නියමිතව ඇත. ඉහත සෑම දිනකම පස්වරු 6.00 ට ආරම්භ වන මෙම නාට්‍ය ප්‍රදර්ශනය සඳහා ප්‍රවේශය නොමිලයේ සපයා ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සංවිධායකයෝ පවසති.