Loading...
කිඹුලකු මරා මස් කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.
Local කිඹුලකු මරා මස් කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.
  • Admin
  • Dec 17, 2025 | 15:46

දැඩි ආරක්ෂිත උරගයකු වන කිඹුලකු මරා දමා මස් කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු, එම කිඹුලා සහ තියුණු ආයුධයක් සමඟ ඊයේ (16) පලාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ උපුල් වැහැර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ත් 40ත් අතර වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.ගල්කිරියාගම අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල් වැහැර ප්‍රදේශයේදී සිදු කළ මෙම වැටලීමෙදී සැකකරුවන් දෙදෙනා මෙම කිඹුලා මරා මස් කිරීමට සූදානම් වන අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව වනජීවී අංශ සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (17) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටියහ.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතාගේ උපදෙස් මත ගල්කිරියාගම අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රසන්ත බණ්ඩාර විජේ⁣කෝන්, අඩවි සහකාර යූ.ජී.සුමිත් ඉංදික බණ්ඩාර, වනසත්ව නියාමක මංගල සමන් කුමාර, සිවිල් ආරක්ෂක සෙබල සම්පත් වීරසූරිය සහ රියදුරු අජිත් ධර්මරත්න යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.