Loading...
ගොවියන්ට වාසියක් නෑ , අතරමැදියෝ එළවළු මිල උස්සති.
Local ගොවියන්ට වාසියක් නෑ , අතරමැදියෝ එළවළු මිල උස්සති.
  • Admin
  • Dec 27, 2025 | 11:31

උත්සව සමය ආරම්භවීමත් සමග එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. පෑලියගොඩ මැනිං තොග වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඊයේ (26 දා) අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබුණු අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද පැවතිය හැකි බව මැනිං වෙළෙඳපොළේ ප්‍රකාශකයෙක් පැවසීය. උත්සව සමය හේතුවෙන් පාරිභෝගිකයන් වැඩි පිරිසක් මැනිං තොග වෙළෙඳපොළට ඊයේ (26දා) පැමිණ සිටි අතර ඉල්ලුම වැඩිවීම නිසා එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමට තොග වෙළෙඳුන් ක්‍රියා කර තිබිණි.


ඒ අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 1100.00 ක් ලෙස ද, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 2000.00 ක් ලෙස ද අමුමිරිස් කිලෝවක් රුපියල් 1600.00 ක් ලෙස ද ඉහළ ගොස් තිබිණි. ඊට අමතරව බීට්, වම්බටු, තක්කාලි, කරවිල, වැටකොලු, නෝකෝල් වැනි එළවළු මිල ගණන් ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබිණි.


එළවළු මිල ගණන් මෙසේ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබුණත් එළවළු ගොවීන්ට ඉන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත් තොග වෙළෙඳපොළ පාලනය කරනු ලබන වෙළෙඳුන් පිරිසක් සිය අභිමතය පරිදි මිල ඉහළ දැමීම සිදුකරන බවත් මැනිං වෙළෙඳපොළ ප්‍රකාශකයෙක් පැවසීය.


මෙම අසාධාරණ මිල ඉහළ දැමීමට එරෙහිව වගකිවයුතු බලධාරීන් කඩිනමින් ක්‍රියා නොකළහොත් උත්සව සමය තුළ එළවළු මිල ඉතා ඉහළ මට්ටමකට පත්වනු ඇති බවත් එහි ලාභය අතරමැදියන් සුළු පිරිසක් අතට පත්වනු ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.