Loading...
තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයින් 72 ක් හදිසියේ මියයයි.
Foreign News තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයින් 72 ක් හදිසියේ මියයයි.
  • Admin
  • Feb 24, 2026 | 11:59

උතුරු තායිලන්තයේ චියැං මායි නගරයේ පිහිටි සුප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වූ ‘Tiger Kingdom’ සත්ත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් 70 කට අධික සංඛ්‍යාවක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිය ගොස් තිබේ.


මේ සම්බන්ධයේ විමර්ශන ආරම්බ කර ඇති බව සඳහන් වේ.


වාර්තා වන අන්දමට Tiger Kingdom ආයතනයට අයත් මධ්‍යස්ථාන දෙකක සිටි ව්‍යාඝ්‍රයින් 72 ක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.


සංචාරකයින්ට ව්‍යාඝ්‍රයින් ස්පර්ශ කිරීමට සහ ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන මෙම උද්‍යාන තුළ සතුන් 240 කට අධික පිරිසක් රඳවා සිටි බව පැවසේ.


එරට ජාතික පශු සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ "සතුන් රෝගී වී ඇති බව අප හඳුනා ගන්නා විටත් ප්‍රමාද වැඩි වී තිබුණා," යනුවෙනි.


බළලුන් හෝ බල්ලන් වැනි සතුන්ට සාපේක්ෂව ව්‍යාඝ්‍රයින්ගේ රෝගී තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම අසීරු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.


පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම සතුන් මියගොස් ඇත්තේ Canine Distemper Virus (CDV) නම් අතිශය බෝවන වෛරසය වැළඳීමෙන් බවයි.


සුනඛයන් අතර පැතිරෙන මෙම වෛරසය සතුන්ගේ ශ්වසන, ආමාශ ආන්ත්‍රික සහ ස්නායු පද්ධතීන්ට දැඩි ලෙස හානි කරන බව සඳහන් වේ.


මෙය ව්‍යාඝ්‍රයින් වැනි වන සතුන්ට වැළඳුණු විට මාරාන්තික විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.


මියගිය සතුන්ගේ දේහයන් දැනටමත් ආදාහනය කර මිහිදන් කිරීමට පියවර ගෙන ඇත.


මෙම සිද්ධියත් සමඟ Tiger Kingdom උද්‍යානය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.