Loading...
වාඩියමංකඩ තරුණයා ඝාතනයට හේතුව උපන් දින සාදයක වුණු ගැටුමක්.
Local වාඩියමංකඩ තරුණයා ඝාතනයට හේතුව උපන් දින සාදයක වුණු ගැටුමක්.
  • Admin
  • Feb 17, 2026 | 10:41

ඝාතකයන් අල්ලන්න පොලිස් කණ්ඩායම් 4ක්

කළුතර උතුර වාඩියමංකඩ ප්‍රදේශයේ ආපන ශාලාවක් ඉදිරිපිටදී 32 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම වස්කඩුවේ සහ පොතුපිටියේ දෙපිරිසක් අතර උපන් දින උත්සවයකදී ඇතිවූ ගැටුමක් මුල්කරගෙන පැවැති ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ‘ඩුබායි ප්‍රවීන්’ නමැති අපරාධකරුගේ සොහොයුරා වන ‘පුපුවා’ නමැත්තාට පහරදීම නිසා ඊට එකට එක කිරීමක් ලෙස මෙම තරුණයා ඝාතනය කර ඇති බව ද මේ වනවිට හෙළිදරව් වී තිබේ.

විමර්ශන නිලධාරීන් පවසන අන්දමට ඩුබායි ප්‍රවීන්ගේ සොහොයුරා වන ‘පුපුවා’ නමැත්තා සහ ශිරෝන් නමැති අයකු මීට ටික දිනකට උඩදී පොතුපිටිය ප්‍රදේශයේ උපන් දින උත්සවයකට සහභාගි වී ඇත. එහිදී පුපුවා සහ ශිරෝන් අතර ආරවුලක් ඇතිවී ඇති අතර පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබිණි.

එම ගැටුමින් පසු වෙනත් දිනකදී ශිරෝන් නමැත්තා, රතුවා සහ කළුතරදී 14 වැනිදා ඝාතනයට ලක්වූ 32 හැවිරිදි තරුණයා පුපුවාගේ නිවසට ගොස් ඇත්තේ මන්නා පිහි ද රැගෙන ය. එහෙත් ඒ මොහොතේ පුපුවා නිවසේ සිට නැත.

මෙම සිද්ධිය මුල් කරගෙන ඇතිවූ ආරවුල දුරදිග යෑමෙන් පසු ඩුබායි ප්‍රවීන්ගේ පාර්ශ්වය විසින් මෙම 32 හැවිරිදි තරුණයා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ඉකුත් 14 වැනිදා රාත්‍රි 8.00ට පමණ කළුතර උතුර වාඩියමංකඩ ප්‍රදේශයට යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු පිස්තෝල අවියක් යොදාගෙන 32 හැවිරිදි තරුණයාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදයකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.